නූතන සිංහල කාව්‍ය රසාස්වාදය හා විචාරය සඳහා අවශ්‍ය මුඛ්‍ය පද( keywords )

නූතන සිංහල කාව්‍ය රසාස්වාදය හා විචාරය සඳහා අවශ්‍ය මුඛ්‍ය පද (keywords)

• උත්ප්‍රාසය ( Irony )
 
වචන මඟින් කියැවෙන අදහසට හාත්පසින් වෙනස් අර්ථ පැවසෙන ප්‍රකාශය යි. බොහෝ විට මෙහි උපහාසාත්මක අර්ථයක් ගැබ් වේ. 
 
• උත්ප්‍රේක්ෂාලංකාරය
 
පන්තිස් අලංකාරයන්ගෙන් එකකි. සිදත් සඟරාව මෙය ‘ උපේලකර ‘ යි නම් කරයි. මෙය සියබස් ලකරෙහි නම් කර ඇත්තේ ‘ අයල සිත් ‘ යනුවෙනි. සචේතනික හෝ අචේතනික යම් වස්තුවක අන්‍යාකාර ප්‍රවෘත්තියක් තදන්‍යාකාරයකින් කල්පනා කරතොත් ඒ අයථා චින්තාව උත්ප්‍රේක්ෂාලංකාරයයි. 
 
•  ඉෂ්ටාර්ථය / තේමාව ( theme ) 
 
සාහිත්‍ය කෘතියක අන්තර්ගත වන හෝ ඉන් ප්‍රකාශ වන හෝ සමස්ත අර්ථය වේ.
 
• ස්වරූපය / ආකෘතිය ( Form ) 
 
ගද්‍ය , පද්‍ය , නාට්‍ය ආදී සාහිත්‍යාංග පමණක් නොව සෑම කලා නිර්මාණයක් ම අන්තර්ගතය ( content ) ස්වරූපය ( form ) යන අංග දෙකෙන් සමන්විත වන බව සම්ප්‍රදායික පිළිගැනීම යි. සාහිත්‍ය නිර්මාණයක් සම්බන්ධයෙන් , එහි අන්තර්ගතය වෙන් කර ගත් කල්හි ඉතිරි වන සියලු දෑ ස්වරූපයට අයත් වේ. උදාහරණයක් ලෙස , කාව්‍ය සාහිත්‍යාංගයක් ගතහොත් වෘත්තය , තාලය , යතිය ආදියත් එළිය , රිද්මය , අනුප්‍රාස , පාද සංඛ්‍යාව , උපමා , රූපක , අලංකාර , සංකේත , සංකල්පරූප , භාෂා ප්‍රයෝග ආදී වශයෙන් එහි අන්තර්ගතය කාව්‍ය නිර්මාණයක් ලෙස ඉදිරිපත් කිරීම සඳහා කවියා විසින් විවිධ ශිල්ප ක්‍රම භාවිතා කරනු ලබන සියලු ශිල්ප විධි සහ භාෂා විධි ස්වරූපයට අයත් කළ හැකි ය. 
 
• කවීත්වය
 
‘ කවිය ‘ යන්න කාව්‍යය , කාව්‍ය රසිකයා , පණ්ඩිතයා හෙවත් උගතා , ප්‍රතිභා ශක්තියෙන් යුක්තයා යන අර්ථයන්හි යෙදේ. කවිත්වය නම් ඒ තත්වය යි.
” නරත්වං දුර්ලභං ලෝකේ – විද්‍යා තත්‍ර සුදුර්ලභා 
කවිත්වං දුර්ලභං තත්‍ර – ශක්තිස්තත්‍ර සුදුර්ලභා – අග්නිපුරාණ ” ( මනුෂ්‍යත්වය ලෝකයේ දුර්ලභය. එහිදු විද්‍යාව අතිශය දුර්ලභ ය. එහිදු කවිත්වය දුර්ලභ ය. එහිදු කවි ශක්තිය අතිශය දුර්ලභ ය. ) මේ කියමන අනුව කවීත්වය අතිශයින් ම දුර්ලභ තත්වයක් බව පැවසේ. ඇතැම් විට කවිත්වය යන්න ප්‍රතිභානය යන අර්ථයෙහි ම යෙදෙන බව පෙනේ. 
 
• උපමාව / උපමාලංකාරය ( Simile ) 
 
උපමාව නම් යම් වස්තුවක් වඩා හොඳින් පැහැදිළි කිරීම සඳහා හෝ තේරුම් කිරීම සඳහා තවත් වස්තුවකට සමාන කොට දැක්වීම ය. උපමාවක් දැක්වීමේ දී අත්‍යවශ්‍යයෙන් ම ‘ මෙන් ‘ , ‘ සේ ‘ , ‘ වැනි ‘ , ‘ එව් ‘ ආදී උපමා වාචක නිපාත පදයක් සමඟ යෙදේ. උපමාලංකාරය කාව්‍යයේ ඉතාමත් ප්‍රකට වූ ද අලංකාර විශේෂය යි. එක් පදාර්ථයක් අනෙක් පදාර්ථයක් හා සමාන කොට දැක්විම හෙවත් උපමානෝපමේයයන් ගේ සාම්‍යය ප්‍රකාශ කිරීම උපමාලංකාරය වේ. 
 
• එළිසමය 
 
‘ එළිවැට ‘ යි ද යෙදේ. පද්‍යයක සතර පාදය ම සමාන අකුරකින් අවසන් කිරීම වේ. එළිසමය පද්‍යයේ අග පමණක් නො ව මුල හා අනෙක් තන්හි ද තැබිය හැකි ය.
 
• චමත්කාරය ( Aesthetic Delight ) 
 
චමත්කාරය යන සංස්කෘතික පදයෙන් අද්භූත , විස්මය ආදී අර්ථ ලැබේ. මීට සමාන ඉංග්‍රීසි පදයක් දැක්වීම අපහසු වෙනත් Aesthetic delight යන යෙදුම ඉදිරිපත් කළ හැකි ය. විස්මය නම් භාවය නොහොත් ස්ථායිභාවය මුල් කර ගෙන අත්භූත රසය හට ගන්නා බව භරතමුනි ආදී විචාරකයෝ දක්වා ඇතත් පසු කාලයේ දී ඇතැම් විචාරකයෝ සියලු රසයන් ගේ සාරය චමත්කාරය බව ප්‍රකාශ කළ හ. 
ඔබගේ යාලුවන්ටත් Share කරන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *