පූජාවලිය විචාර ප්‍රශ්න-1

පූජාවලිය විචාර ප්‍රශ්න-1

කතා පුවතින් මතුවන විවිධ ක්ෂේත්‍ර කෙරෙහි පළල් දැනුමක් පාඨකයා වෙත ලබා දීමට පූජාවලී කතුවරයා උත්සුක වෙයි. නියමිත කතාවස්තු ඇසුරෙන් සාකච්ඡා කරන්න.
 
දහතුන් වන සියවසේ එනම් දඹදෙණි යුගයෙහි මයුරපාද පරිවේනාධිපති බුද්ධපුත්‍ර හිමියන් විසින් රචනා කරන ලද පූජාවලිය බුදුන්වහන්සේගේ නව අරහාදී බුදුගුණ අතරින් ‘ අරහං ‘ යන ගුණයෙහි ඒක දේශයක් වන පූජාවට සුදුසු බව වර්ණනා කෙරෙන කෘතියකි. දීපංකර පාද මූලයෙහි පටන් බුදුන් උදෙසා සිදු කරන ලද සකල විධ ආමිස සහ ප්‍රතිපත්ති පූජා සමූහයක් පූජාවලියෙහි අන්තර්ගත වේ. ඒ සඳහා ඉදිරිපත් කර ඇති කතා පුවත් මගින් කිසියම් ජීවිතාදර්ශයක්  ලබා දෙන අතර ම එමගින් පාඨකයා වෙත ලබා දී තිබෙන බව ද අනාවරණය වේ.
 
පූජාවලියෙහි අන්තර්ගත අනුරුද්ධ කුමාර කතාව මගින් විවිධ විෂය ක්ෂෙත්‍ර පිළිබඳව අවබෝධයක් පාඨකයා  වෙත ලබා දී තිබේ. ” නැත ” යන්නෙහි අරුතක් නොදන්නා , බත් උපදින්නේ රන් තලියෙනැයි සිතා සිටින අනුරුද්ධ කුමරා බුදුන් කරා ගොස් මහණ වීම ප්‍රතික්ෂේප කරයි. අනුරුද්ධ කුමරා ගේ වැඩිමහල් සොහොයුරා වන මහානාම කුමරා අප දෙදෙනාගෙන් බුදුන් කරා ගොස් මහණ වන්නේ කවුරුන් දැ’ යි විමසූ විට අනුරුද්ධ කුමරා එය ප්‍රතික්ෂේප කරන්නේ තමා අසා ඇති පරිදි මහණදම රැකීමේ දුෂ්කරතා තම සොහියුරා හට අනාවරණය කරමිනි. එමගින් මහණකම පිළිබඳව නැතහොත් පැවිදි ජීවිතය පිළිබඳව වැටහීමක් පාඨකයාට ලබා දෙයි.
 
” බුදුන් කෙරෙහි මහණ වූ කළ එක් වේලේ කෑව මනා ල. එසේ වූ බතත් දොර දොර සිඟා ඇවිද ලද මනා ල. ඇඹුල් ලුණු බෝය මද යැයි කිය නොහැකි ල. හුණු කැමත සිහිල ලැබේ ල. සිහිල් කැමත හුණු ලැබේ ල. දිවිහිමියෙන් එක ලාව ම හොත මනා ල. රුක් මුල් සුසාන භූමිවල භාවනා කොට ඇවිද්ද මනා ල. ” 
 
පැවිදි  වීම ප්‍රතික්ෂේප කරන අනුරුද්ධ කුමරා හට ගිහිගෙයි වාසය කරන්නේ නම් උපයා කන ආකාරය දැන ගත යුතු යැයි පවසමින් මහානාම කුමරා බත උපදනේ රන් තලියෙනැයි සිතා සිටින අනුරුද්ධ කුමරා හට ගොවිතැන පිළිබඳව දීර්ඝ විස්තරයක් ඉදිරිපත් කරයි. එය ගොවිතැන යනු කොතරම් දුෂ්කර කර්මාන්තයක් දැ’යි යන්නත් සාම්ප්‍රදායික කෘෂිකර්මාන්තය පිළිබඳව පුළුල් අවබෝධයක් ද එමගින් ලබා දෙයි.
 
” වපුලා වූ කුඹුරෙහි සතා සතුන් සතියක් රැක්ක මැනව. වැට බැඳ ඉස්නන් නමා එගොයම් නිලන අවස්තාවේ කුඹුර මැද රැකවල් පැලක් තබාගෙන , මැසිඳඬෙක ලා ගෙන ගෙයි දී කන බතක රස නොදැන ඇඳෙක පිටක් නොතබා රාත්‍රී දිවාභාගයෙහි එක දවසෙකත් නින්දේ නින්දක් නිදා නොපියා ගෙරින්, මීවුන්, ඌරන්, මුවන් ආදී වූ සතා සතුන් සාර මසක් රැක්ක මැනව.” 
 
ගොවිතැන අළලා මහානාම කුමරා ගේ මුවට නංවා ඉදිරිපත් කරන දීර්ඝ විස්තරයෙන් අනතුරුව මහළු භාවයට පත් වන ගොවියා හට අත්වන අවාසනාවන්ත ඉරණම කොතරම් සානුකම්පිත ද යන්න ඉතා යථාර්ථවාදී ව ඉදිරිපත් කරයි. එය ගොවිතැනත් ගොවියාත් පිළිබඳව පාඨකයා වෙත පුළුල් අවබෝධයක් ලබා දෙන අවස්ථාවකි.
 
” එකල දෑතින් දෙදඬු ගෙන විළිපිළියෙන් විරූපව කුද ගසාගෙන පෙර තමා උපයා කෑ රටට ම වෙස් බැඳ පානා විකාර රූපයක් සේ දොරින් දොර සිඟා කා ඇවිද්ද මනාම ය. ” 
 
පූජාවලියෙහි ජීවක කතා පුවත ද විවිධ ක්ෂේත්‍ර පිළිබඳව පාඨකාවබෝධය පුළුල් කිරීමට ඉවහල් වෙයි. ජීවක වෛද්‍යවරයා ගේ උත්පත්ති කතාව ඉදිරිපත් කරන අවස්තාවේ දී කතුවරයා පැරණි භාරතීය සමාජයේ සම්භාවනීය තනතුරක් වූ ගණිකා වෘත්තිය  පිළිබඳව තොරතුරු රැසක් අනාවරණය කරයි. රජු විසින් එම තනතුර සඳහා තෝරා පත් කර ගැනීම් කරන ආකාරය, එම තනතුරට හිමි වර ප්‍රසාද ආදිය පමණක් නොව එම තනතුර හිමි කර ගන්නා කාන්තාවන් ගේ ගති ස්වභාවයන් ද කතා රසයට අනුකූලව යමින් අනාවරණය කොට තිබීම විශේෂත්වයකි. 
 
” වේශ්‍යාවෝ නම් දරුවන් ඇතත් නැත්තා සේ පුරුෂයන් වංචා කරන ස්වභාව ඇත්තාහ. පුතුන් ලද කළ වල දමන්නාහ. දූන් ලද කළ නොහඟවා වඩන්නාහ. ” 
 
ජීවක කතාවෙහි ජීවක ගේ චරිතය ඇසුරු කොට ගනිමින් වෛද්‍ය වෘත්තිය පිළිබඳවත්, විවිධ වෛද්‍යකර්ම සහ ඖෂධ පිළිබඳවත් මනා අවබෝධයක් පාඨකයාට ලබා දෙයි. එමතු නොව එහි දී නොයෙක් රෝගාබාධ පිළිබඳව ද තොරතුරු රැසක් අනාවරණය කෙරෙයි.
 
ජීවක වෛද්‍යවරයා වෛද්‍ය වෘත්තිය හදාරා අවසන් වූ පසු ඔහු ගේ ආචාර්‍යවරයා ඔහු පරීක්ෂා කිරීම සඳහා සතර දවසක් සතර වාසල් දොරටුවෙන් නික්ම, සතර යොදුනක් ඇවිද ඖෂධයකට නොගත හැකි මුලක් , මලක් , පොත්තක් , අත්තක් , ඵලයක් , පතක් සොයා ගෙන අවුත් තමන් හට පෙන්වන්නැ’යි පවසයි. ජීවක වෛද්‍යවරයා සොළොස් ගව්වක් ඇවිද තම ආචාර්‍යවරයා වෙත පැමිණ පවසන වදන් වෛද්‍ය වෘත්තිය හා සම්බන්ද මූලික දැනුමක් අනාවරණය කරයි.
 
” ස්වාමීණි , මේ මිනිස් ලොවනම් පූර්වයෙහි ඖෂධයෙන් ම මවන ලද වන ඖෂධ ඝටිකාදක් වැන්න. ඖෂධයකට නොගත හැකි වස්තුවක් නොලදිමි. ” 
 
මෙලෙස ඉතා සාර්ථක ලෙස වෛද්‍ය ශාස්ත්‍රය හදාරා අවසන් කරන ජීවක වෛද්‍යවරයා සාකෙත නම් නුවර දී එක්තරා සිටු දේවියකට වැළඳුණු ‘ ශීර්ෂාබාධයක් ‘ සුව කරන්නේ ” නශ්‍ය ” කිරීමෙනි. බිම්බිසාර රජුට වැළඳුණු ” භගන්ධරාබාධය ” ඉතා දක්ෂ ලෙස සුවපත් කිරීමට ජීවක වෛද්‍යවරයා සමත් වෙයි. තවත් සිටුවරයෙකු ගේ මාරාන්තික ශීර්ෂාබාධයකට හේතු වුණු ” මත්තලුඞගභෝජන ” නම් පණුවන් දෙදෙනා සැත්කමකින් ඉවත් කිරීමට ජීවක වෛද්‍යවරයා සමත් වෙයි. බරණැස් පුරයෙහි තවත් එක් සිටුවරයෙකුට වැළඳුණු ” අන්තරගන්ඨි ” නම් රෝගය සුව කිරීමට ජීවක වෛද්‍යවරයා රෝග නිධානය හඳුනාගන්නා ආකාරය ඉතා ප්‍රශස්ත ය. එය අනාවරණය කොට ඇත්තේ ඉතා සජීවී සංවාදයක් මගිනි.
 
” සිටාණන් වහන්ස , නුඹවහන්සේ ගේ බඩ ගැටගෙන තිබෙන ගුණයක් ඇද්ද “
 
” එබඳු වූ ගුණයෙක් ඇත. “
 
” ක්‍රීඩාවක් කළ දවසක සිට ඒ ගුණය ඇති වී ද ? ” 
 
” එසේ ය. ” 
 
” මළ මුත්‍ර නැද්ද? ” 
 
“නැත”
 
” අධෝවාත නැද්ද ? ” 
 
” නැත ” 
 
” එසේ වී නම් නුඹ බඩ අන්තරගන්ඨි නම් ආබාධයෙක , නුඹ බඩවැල මැදින් ගැට ගැසී ගියේ ය. ” 
 
යථෝක්ත කරුණු අනුව බලන විට පූජාවලී කතුවරයා තමන් ඉදිරිපත් කරන කතා පුවතින් මතුවන විවිධ ක්ෂේත්‍ර කෙරෙහි පුළුල් අවබෝධයක් පාඨකයා වෙත ලබා දී ඇති බව තහවුරු වේ.
 
ඔබගේ යාලුවන්ටත් Share කරන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *