ලක් මවුනි මගේ

ලක් මවුනි මගේ...

සිතකින් සිතනු බැරි තරමට තිබෙන අගේ

සැපතින් වැඩෙන පෙම්බර ලක් මවුනි මගේ

ලබමින් පිහිට ඉටු දෙවියන්ගෙනුත් සගේ

යහතින් ඉන්න මල් බර සල් රුකක් වගේ

 

සතුවී තිබෙන කොට ඔබ ගේ සෙනේ දම

මුතු මිණි රනින් මට අත් වන පලේ කිම

පුතු වෙමි ඔබට උපදින හැම තැනේ දිම

පැතු මෙන් මගේ සිරි ලක් මව වඳිමි මම

 

නහමක් බලා කිසිවිට හොඳ නොහොඳ පැතී

දහ අත ගලන ඔබ ගේ මහ කුලුණු ගති

මහතයි දිගයි ගම්භීරයි කියනු යුති

මහවැලි  කැලණි කළු ඟං ගල ගලා යති

 

නිවනේ මිහිර රැළි බුදු දම් අමා කිරි

පොවමින් නළව නළවා ගන්වමින් දිරි

ලොව ඔද වඩන නොකැළැල් පෙම් ගුණෙන් පිරි

කවරෙක් ඇද්ද මගෙ සිරි ලක් මවට සරි

 

කඳු වන රසට කැඳවා ලොව දසනු දෙස

ඉඳුවා වඩා සමනොළ මල් යහන් කුස

උදුරා සමය කුල නිල බේ නපුරු විස

පුදුමයි ඔබ කවන සැටි සමඟියේ රස

 

තෙවරක් තිලෝගුරු මුණි රජු වැඩම කොට

ලවමින් අරන් පන්නා යක් සෙනඟ වට

සුව දී වදාළේ නම් දුක් බැහැර කොට

නිවනින් මෙපිට ඔබ වෙහි රැකවරණ මට

 

දම් සෝ නිරිඳු පුත් අරහත් මිහිඳු හිමි

දම්මී පෙවිය සිරිමත් ඔබ ගුණට නැමී

මම් ඔබෙ මුවට මුව තබමින් උරමි එමී

අම් මෙනි එය ම මුළු ලෝකෙට පොවමි දෙමී

පරගැති වූ සිංහල ජාතියත් , යටත් විජිතකරණයට ලක්ව පයට පෑගෙන දූවිල්ලක් බඳු වී තිබූ සිංහල දේශයක් උරුමය රැක ගැනීමට කාව්‍යකරණයට පිවිසි ඇස්. මහින්ද හිමි කොළඹ යුගයේ පළමු කවි පරපුර නියෝජනය කළ සේක. ජාතික , ආගමික හැඟීම් හා කම්මැලි දේශවාසීන් අවදි කරවීම ප්‍රබල අරමුණ කරගත් මෙහිමි තම පෑන අවියක් කර ගනිමින් කවියෙන් හරඹ පෑහ. නිදහසේ දැහැන , නිදහසේ මණ්ත්‍රය , දරු නැළැවිල්ල සේ ම ඔවා මුතු දම , කවි මිණි පොත් පෙළ , ළමා කවි කළඹ ආදී පද්‍ය සංග්‍රහ ගණනාවක් රචනා කරමින් උන්වහන්සේ ගේ ප්‍රභල පද්‍ය සංග්‍රහයක් ලෙස ‘ ලක් මවුනි මගේ ‘ පද්‍ය සංග්‍රහය් සහෘද ගෞරවාදරයට පාත්‍ර කර ගැනීමට උන්වහන්සේ සමත් වූ සේක.

 

සිරිලංකාවේ අපූර්ව සුන්දරත්වය , ආදි මුතුන්මිත්තන් රැකගත් දේශයේ වගතුග වස්තු විෂය කොට ගනිමින් පරාධීන ලාංකිකයන් ගේ දේශ වාත්සල්‍ය හඬ අවදි කරනු වස් රචිත මෙම පැදි පෙළ වියරණ සිව්පද ආරෙන් හා උත්තම පුරුෂ දෘෂ්ටිකෝණයෙන් විරචිත ය.

 

” සිතකින් සිතනු බැරි තරමට තිබෙන       අගේ

   සැපකින් වැඩෙන පෙම්බර ලක් මවුනි   මගේ

   ලබමින් පිහිටි ඉටු දෙවියන්ගෙනුත්       සගේ

   යහතින් ඉන්න මල් බර සල් රුකක්      වගේ “

 

දේශය නම් වූ මෑණියන්ට මෙහි දී අමතයි. ඇය ගේ සුන්දරත්වය , රූප ශෝභාව අති මහත් ය. ඇයට මලින්  බර සල් රුකක් සේ සිටින්න යැයි පවසයි. උන්වහන්සේ යොදා ගන්නේ අපූර්ව ඖචිත්‍ය උපමාවකි. මල්බර සල් රුකක් වීමට නම් සියලු සැප සම්පත්වල පෝෂණය හිමි විය යුතු ය. ලක් මෑණියන්‍ට ඒ සියල්ල ලැබෙන බැවින් යහපත්ව වාසය කළ හැකි බව උන්වහන්සේ ප්‍රකාශ කරන්නේ අපූර්ව වූ උපමාවකිනි.

 

සතුවී තිබෙන කොට ඔබගේ සෙනේ     ද

මුතුමිණි රනින් මට අත්වන පලේ      කිම

පුතුවෙමි ඔබට උපදින හැම තැනේ    දිම

පැතුමෙන් මගේ සිරිලක් මව වඳිමි     මම

 

උන්වහන්සේ මින් ව්‍යංගාර්ථවත් ව පවසන්නේ ඇයගේ ඉරණමයි. ලක්මෑණි පෘතුගීසි ,ලන්දේසි,ඉංග්‍රීසි අදී යටත් විජිත වෑසියන් ගේ යදමට සිරවී ඇති බවකි. එවිට උන්වහන්සේ ඇය සතු සම්පත්වලින් ඇති ඵලය කුමක්ද යනුවෙන් උන්වහන්සේ සහෘද සිත් තුළ ශෝක රසය ද වඩවාලයි.  උත්තම පුරුෂ දෘෂ්ටිකෝණයෙන් විරචිත පද්‍ය පුරාවට ලක්මෑණිගේ ගුණ කදම්භය අතිශෝක්තියෙන් කිවිවිරයාණන් වහන්සේ කියා පෑ සේක.

 

‘පුතුවෙමි ඔබට උපදින හැම තැනේ       දිම

පැතුමෙන් මගේ සිරිලක් මව වඳිමි        මම’

 

දේශයේ සිටිනා සියලු වැසියන්ට පාඨක සදයාට උන්වහන්සේ තම හෘදයාංගම සිතුවිල්ල හඩඟා කියයි. ඒ ඔවුන්ගේ ඇස්කන් ඇරීමටයි. දේශයේ හැඟීම් වඩවාලීමටයි. ඒ සඳහා උන්වහන්සේ සතු නිසඟ කවීත්වය අපූර්වය. උන්වහන්සේ පද වියමන පුරාවට ආවේගය පලකරනවා වෙනුවට ගෙන එන්නේ ලක්මවගේ අසිරිය කියා පෑමයි. ඉන් සහෘද හදවතට ධ්වනිත කරන්නේ අපූර් ව හැඟීම් ය.

 

‘ කඳු වන රසට කැඳවා ලොව දසනු දෙස

  ඉඳුවා වඩා සමනොළ මල් යහන්    කුස

  උදුරා සමය කුල නිල බේ නපුරු      විස

  පුදුමයි ඔබ කවන සැටි සමඟියේ      රස’

 

සිරිලංකාද්වීපයේ අසිරිය නරඹන්නට නොයෙක් දෙසින් පැමිණෙන්නේ විවිධ රටවැසියන් ය. එය පවසන්නේ අපූර්ව ළගන්නා සුලු බස්වහරකිනි. ජාති, කුල භේද, ආගම් බෙදීම් වසා ඇය සමගියේ අරුත දැයට පවසන අයුරු පවසන්නේ සමඟියේ රස කවන අයුරින්ය. එය අපූර්ව කාව්‍යාත්මක බස ගැළපීමකි.

 

‘තෙවරක් තිලෝගුරු මුණි රජු වැඩම  කොට

  ලවමින් අරන් පන්නා යක් සෙනඟ       වට’

 

කවියා අපූර්ව අතීත ස්මරණයකට පාඨකයා කැඳවයි. තෙවරක් බුදුන්ගේ පාදස්පර්ශයේ පහස ලත් ශ්‍රී ලංකාවේ පැවති අඳුරු බලවේග උන්වහන්සේ පන්නා දැමූ සේක. ඒ අරුතින් මෙහිමි ව්‍යංගාර්ථවත්ව පවසන්නේ වත්මන් සිරිලංකාවද එවැනි පරාදිනයන් පරාජය කර නැඟී සිටිය යුතු බවයි. එයට මිහිපිට දැන් ඇති එකම රැකවරණය, මුරදේවතාවා සිරිලක් මෑණි බව මේ හිමි පවසති.

 

 ‘දම් සෝ නිරිඳු පුත් අරහත් මිහිඳු              හිමි

  දම්මී පෙවිය සිරිමත් ඔබ ගුණට             නැමී

  මම් ඔබෙ මුවට මුව තබමින් උරමි           එමී

  අම් මෙනි එය ම මුළු ලෝකෙට පොවමි දෙමී’

 

කවියා මුලු පදවියමන පුරා යොදා ගන්නේ සරල සුගම බස්වහරකි. සහෘදයාට නොවැටහෙන බසක් මෙහි නොවේ. කවියා හෙළයේ අතිතාවර්ජනයක යෙදිමින් මිහිඳු හිමියන් සිරිලංකා මෑණි වෙත රැගෙන ආ ධර්මය ඇගෙන් ලබාගන්නා බව පසක් කරන්නෙ අපූර්ව පාඨයකිනි.

 

‘මව් ඔබෙ මුවට මුව තබමින් අරමි         එමී

 අම්මෙනි එයම මුලු ලොවටම පෙවමි  දෙමි

 

අම්මේ ඔබ ඒ ලත් දැනුම සම්භාරය මා ලැබුවේ යනුවෙන් උන්වහන්සේ ඇගෙන් එකී දැනුම් සම්භාරය ලබන බව පවසයි. තම පද්‍ය අවසාන කරන්නේ පොදු මහත් සමාජයට ම එකී දැනුම සම්භාරය සංස්කෘතිය ලබාදෙන පොරොන්දුව පිටයි. දේශජ හැඟීම්, දේශ වාත්සලස නගාසිටුවනු වස් ඇස්. මහින්ද හිමි කවි අඹරෙ දිදුලන තරුවක් ලෙසින් සිරිලක් වැසියන් අතර සදා නොමියෙන මතකයක් වනු පිණිස මෙම කවිපන්තිය බෙහෙවින්ම උපකාරී වූවකි.

ඔබගේ යාලුවන්ටත් Share කරන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *