‘ගුත්තිල කාව්‍ය’ හි කවි වල තේරුම් (දෙවන කොටස)

'ගුත්තිල කාව්‍ය' හි එන උසස් පෙළ සිංහල විෂය ධාරාවට අදාල වන කවි වල තේරුම් (දෙවන කොටස)

මෙන් රිවි සඳ                      කිරණ
දිව රෑ දිලෙන මෙ               දෙරණ
ඔහු තෙද ‘ ණ සොමි              ගුණ
කළේ මුළු ලොවට වැඩ     අපමණ
 
( මේ පොළොවෙහි දිවා රාත්‍රියෙහි දිළිසෙන්නා වූ චන්ද්‍ර , සූර්ය රශ්මිය මෙන් ඔහු ගේ සෞම්‍ය ගුණය ද , තේජස සහ ආඥාව ද සියලුම ලෝකයට අප්‍රමාණ යහපත සැලැස්වී ය.)
 
සව් සත                  කුලුණැසින්
සව් සත තියුණු         නැණැසින්
නිති දක්නා                      විසින්
එ රජ මය යුතු වූයෙ     යුගැසින්
 
( සකල සත්වයන් කරුණාවෙන් යුතු ඇසින් ද , සකල ශාස්ත්‍රයන් තියුණු නුවණ නමැති ඇසින් ද , නිරන්තරයෙන් දක්නා හෙයින් ඇස් දෙකින් යුක්ත වූයේ ඒ රජුම ය. )
 
ඔහු තෙද                   දිවසකර
දිලිහෙත විකුම් ගිරි            සිර
පෙර සිටි රඟ නො           හැර
සිටි ද පර රද යස      තුසරකර
 
( ඔහු ගේ තේජස නමැති සූර්‍යයා වික්‍රමය නමැති ගිරි සිරසෙහි දිළිසෙන කල්හි පෙර සිටින ආකාරය අත් නොහැර අන් රජවරුන් ගේ කීර්තිය නමැති චන්ද්‍රයා එලෙසින් ම පවතී ද? )
 
සුරත ඔහු                          යුදයට
සුරත ලෙළ දෙන             කගපට
සුරත මිස යුග                         දිට
සුරත නම් කොද රුපඹුවන්     හට
 
( යුධයට ඉතා ඇලුණු ඔහු ගේ දකුණු අතෙහි අසිපත් ලෙළදෙන කල්හි සතුරා රජවරුන් ගේ භාර්‍යාවන් ගේ දෙඇස් ඉතා රත් පැහැ වීම හැර කාමාශාවන් නම් කොයින් ද ? )
 
යුදෙහි ඔහු කග                   ලිය
සමඟ රුපුන’ද වෙව්            ලිය
උන’ඹු සිතුවිලි                    ලිය
සමඟ ඔහු යස ලිය ද ලිය     ලිය
 
( යුද්ධයේ දී ඔහු ගේ කඩුව නමැති ලතාව සමඟ සතුරන් ගේ හදවත් වෙව්ලිය උන්ගේ අඹුවන් ගේ සිත්හි ලැජ්ජාව නමැති වැල සමඟ ඔහු ගේ කීර්තිය නමැති ලතාව ද දළු දැමී ය. ) 
 
ළෙල දෙන නන’වි                   සිළු
රද දුම් කඳින්                      පිහිකුළු
ඔහු සෙන් ළව’ග                      රළු
කෙළේ මොළ රිපු නිරිඳු ඉළු    හළු
 
( ලෙලදෙන්නා වූ නොයෙක් ආයුධ නමැති සිළු ඇති දූවිලි නමැති ලැව් ගින්න චණ්ඩ වූ සතුරු රජවරුන් නමැති වනාන්තරය හළු කළේ ය. ) 
 
දිමුතු කිතු මුතු                     හර
කරැ දිගු පියන්            පියොවුර
දස රජ දම්                  නොහැර
එ රජ රජ කරන සඳ එ     නුවර
 
( දීප්තිමත් වූ කීර්තිය නමැති මුතු වැල දිශා නමැති ප්‍රියාවන් ගේ පයෝදරයන්හි පළඳවා දස රාජ ධර්මය අත් නොහැර ඒ රජු ඒ නගරයෙහි රජ කරවන කල්හි… )
 
රජ කුල අදර                      ලත්
විදුමිණි රුවන කර              යුත්
පසිඳු මහ                       දනවත්
ගඳෙව් කුලයක ඉපිද     බෝසත්
 
( රජ කුලයෙහි ආදරය ලැබූ විද්‍යාව නමැති මාණික්‍ය් රත්නයට ආකරයක් වැනි වූ ප්‍රසිද්ධ වූ , උසස් වූ , ධනවත් වූ ගාන්ධර්ව කුලයෙක්හි බෝසතානන් වහන්සේ ඉපිද…) 
 
කුමර කෙළි                     පුරුදුව
ගුරුන් පෙම් කොඳ           තරිඳුව
දිසි පින් පිඬු                        බඳුව
සොඳුරු ගුත්තිල නමින්     පසිඳුව
 
( කුමාර ක්‍රීඩා පුරුදු වී ගුරුන්ගේ ප්‍රේමය නමැති කුමුදු මලට චන්ද්‍රයා වී පින් පිඬක් මෙන් දිස් වූ සුන්දර වූ ගුත්තිල යන නාමයෙන් ප්‍රසිද්ධ් වී…)
 
සුරඟන වුව                           වෙතට
අදනා සොඳුරු                      රුසිරට
නඟර රඟ පසු                        කොට 
පැමිණ සපිරුණු සොළොස්    වයසට
 
( දිව්‍යාංගනාවන් වුවත් තමන් සමීපයට අදින්නා වූ , සුන්දර වූ රූපශ්‍රීයට අනංගයාගේ ආකාරය පසුකර හෙවත් පරදවා සම්පූර්ණ වූ 16 වැනි වියට එළඹ…)
 
කළ පන්සිළු නො          නිසි
වඩවන සුරඟනන්           රිසි
කරන දන මන                විසි
ඉගෙන වීණා ගායනා      නිසි
 
( දිව්‍යාංගනාවන් ගේ ආශාව වර්ධනය කරවන පන්සිළු හෙවත් දිව්‍ය ගාන්ධර්වයා නුසුදුස්සකු බවට පත් කළා වූ ජනයා ගේ සිත් වශී කරන වීණා වාදනය සුදුසු පරිදි ඉගෙන ගෙන…)
 
බඹදත් නිරිඳු                    මැද
දක්වා සිල්ප මන               නද
ලැබ යසසිරි               නොමඳ
පැමිණ රජසේවයට     හැමසඳ
 
( බ්‍රහ්මදත්ත රජු ඉදිරියේ සිත් පිනවන ශිල්ප දක්වා බොහෝ වූ කීර්තිය සහ සෞභාග්‍යය ලබාගෙන සියලු කල්හි රාජ්‍ය සේවයට පැමිණ… ) 
 
දඹදිව් තල               නොයෙක
දුරුකර පිළිඇදුරු             සැක
සිප් සයුර තෙර                 දැක
වසන සඳ අඳ දෙමව්පිය     රැක
 
( දඹදිව් තලයෙහි නොයෙක් ප්‍රතිවිරුද්ධ ආචාර්‍යවරයන් ගේ සැකය දුරු කොට ශිල්ප සාගරයේ තෙර දැක අන්ධ දෙමව්පියන් ආරක්ෂා කරගෙන වාසය කරන කල්හි… )
 
බරණැස් නුවර                     සිට
උදේනි නම්                    නුවරට
පුරා බඩු ගැල්                       පිට
රැගෙන ගිය වෙළඳු    වෙළඳාමට
 
(බරණැස නම් නගරයේ සිට උදේනි නම් නඟරයට කරත්තවල බඩු පුරවාගෙන වෙළඳාම් පිණිස රැගෙන ගියා වූ වෙළෙන්දෝ…)
 
රන් රසු දැල්                           ගිගිළි
නන් දද පෙළින් වූ                   හෙළි
එනුවර තුර                            බැබළි
දුටහ කෙල්නා මහත්       සැණකෙළි
 
( රත්තරන් කිංකිණි ජාලා ගිගිරූ නොයෙක් කොඩි පේළියෙන් ආලෝකවත් වූ බැබලුණා වූ ඒ නගරය ඇතළත ක්‍රීඩා කරන්නා වූ මහත් සැණකෙළිය්ක් හෙවත් විශාල ක්‍රීඩා උත්සවයක් දැක්කහ. )
 
සදවා සුදු වැලි           පිවිතුරු
බඳවා රන් දද            පියකරු
සිටුවා දොර දොර      රඹතුරු
තබවා පුන්කුඹු          විසිතුරු
 
( පවිත්‍ර වූ සුදු වැලි වලින් සරසවා පියකරු වූ රත්තරන් කොඩි බැඳ දොරක් පාසා කෙසෙල් ගස් සිටුවා විචිත්‍ර වූ පුන්කලස් තබවා…)
 
සරා සලෙළු දන      සතොසේ
සුරා පාන කරන          ලෙසේ
පුරා අවුලු නොයෙක      රසේ
සරා අවන්හල්             සහසේ
 
( රාග සහිත වූ සල්ලාල ජනයා හැසිර සන්තෝෂයෙන් සුරාව පානයකරන පරිද්දෙන් නොයෙක් රසයෙන් යුක්ත කැවිලි ජාති හෙවත් සුරා පානයේදී කෑමට ගන්නා දේවල් පුරවා ආපන ශාලා…)
 
 
ඔබගේ යාලුවන්ටත් Share කරන්න.

One thought on “‘ගුත්තිල කාව්‍ය’ හි කවි වල තේරුම් (දෙවන කොටස)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *