‘ගුත්තිල කාව්‍ය’ හි කවි වල තේරුම් (පළමු කොටස)

'ගුත්තිල කාව්‍ය' හි එන උසස් පෙළ සිංහල විෂය ධාරාවට අදාල වන කවි වල තේරුම් (පළමු කොටස)

ඉසුරින් ඉඳුරු                       පුර
පසු කරන සව් සිරි                බර
බරණැස් නම්                     පවර
පුරෙක් විය දඹදිවෙහි       පුවතර
 
( සියලු ශ්‍රියාවෙන් පිරුණු ශක්‍රයා ගේ පුරය සැප සම්පත්වලින් පසුබස්නා වූ බරණැස නම් ඉතා උතුම් ප්‍රසිද්ධ නගරයක් දඹදිව්හි විය )
 
දුසිරි නවතා                           දෝ
පිරිතිරෙන ඉසුරට                  දෝ
ඉදිකළ මෙන්                  සොඳෝ
බැබළි එපුරෙහි පවුර කල       දෝ
 
( දිෂ්චරිතයන් නැතිවීමට දෝ නැතහොත් පිරී ඉතිරී යන සම්පත්තියට දෝ මනා කොට ඉදිකළාක් බඳු ඒ නගරයෙහි රිදී ප්‍රාකාරය බැබලුනේ ය. ) 
 
පිරි සිලිලෙන්                දිලෙන
මහඋර මහත්               සැපතින
එපුර ගිලෙතියි                   දැන
බඹා ලූ තර වළල්ලක්      මෙන
 
( දිය අගලෙහි ජලය මත පෙනෙන්නා වූ මහා ප්‍රාකාරය විශාල සම්පත්තියෙන් ඒ නගරය ගිලෙති යැයි දැනගෙන මහා බ්‍රහ්මයා දැමූ ස්ථිර වළල්ලක් වැනි ය. ) 
 
පිරි සියපත්                       රොනට
පුරෙහි වත්සුණු                   සුවඳට
හැසිරෙන බමර                       වට
හෙළූ මිණි දැල් වැන්න      අරකට
 
( දිය අගලෙහි නෙළුම් මල්වල රේණුවලට ද , නගරයේ වත්සුණු සුවඳට ද හැසිරෙන්නා වූ බමර දැල [ භෘංග ජාලය ] නගරයේ ආරක්ෂාවට එල්ලූ මිණි ගෙඩි සහිත දැලක් වැනි ය. ) 
 
මිණි බිම දිසි                        දිමුත්
පහග ලෙල දෙන දද              යුත්
වැඳ සිඳු සපුන්                      ගත්
ගුරුළු දහසෙව් දන නුවන්      ගත්
 
( දීප්තිමත් වූ මාණික්‍යමය භූමියෙහි පෙනෙන්නා වූ ප්‍රසාද කෙළවරෙහි යෙදෙන ලද සෙලවෙන්නා වූ කොඩි , මුහුදට පිවිස සර්පයන් ගත්තා වූ ගුරුලන් දහසක මෙන් ජනයා ගේ නේත්‍රයන් ගත්තේ ය. ) 
 
දුල සිසි කිරණ                     පට
මිණිකොත් ඇණින්     අසුකොට
තැබුයෙව් පුර’ලු              කොට
රිදී පළ එහි දිළෙයි        හැමවිට
 
( බබලන චන්ද්‍ර කාන්තිය නැමැති වස්ත්‍රය මාණික්‍යයෙන් කරන ලද කොත් නැමැති ඇණවලින් සවි කරගෙන නගරය ආලෝකවත් කර තැබුවාක් මෙන් ඒ නගරයෙහි රිදියෙන් කළ වහල් තල සෑම කල්හිම දිළිසෙයි. ) 
 
නිල් මිණි රැස්              පැතිර
නිල් වත සිතඹපුර            ඹර
ගජ මුදු හෙත                විසිර
එපුර වහරෙව් දිසී හැම     වර
 
( නිල් මැණික් එළිය පැතිරී නුවර අහසෙහි සුදු පාට වළාකුළු නිල් පාට වන කල්හි ඇතුන් ගේ මද විසිරී වැටෙන කල්හි ඒ නගරය සෑම කල්හි ම වර්ෂා කාලයක් මෙන් දිස් වන්නේ ය. ) 
 
හය කුර රොන්                       ගසින්
ගිජිදු ගිජිදුන්                    වෙසෙසින්
හළ පොකුර’ඹ                       රසින්
තුරඟ සැනසෙති එපුර      සතොසින්
 
( ඒ නඟරයෙහි අශ්වයන් ගේ කුර ගැටීමෙන් නැගෙන දූවිල්ලෙන් ඇත්තු ද , ඇතුන් විසින් හරින ලද හොඬවැල අග ජල රාශියෙන් අශ්වයෝ ද විශේෂයෙන් සන්තෝෂ වෙති. ) 
 
උරයෙන් උර                      පැහැර
ගැවසී සිටින                      නිරතුර
දන රැස් පිරි                           පවර
කුවෙර නුවරෙව් සැදිණු එ     නුවර
 
( කුවේරයා ගේ නගරය මෙන් සැරසුණු ඒ නගරයෙහි උරහිසෙන් උරහිස ගැටී නිරන්තරයෙන් ගැවසී සිටින්නා වූ උතුම් ජන රාශිය නැතහොත් ජන සමූහය පිරුණු… ) 
 
මෙ ම යැයි රජෙක්                 නම්
කියවූ ලොව තමන්                නම්
රජෙක් බඹදත්                       නම්
වීය නො තැබූ රුපු රජෙක්      නම්
 
( රජෙක් නම් මෙතුමා යැයි තමන් ගේ නාමය ලෝකයෙහි ප්‍රකාශ කරවූ සතුරු රජෙකු ගේ නාමය ඉතිරි නොකළා වූ බ්‍රහ්මදත්ත නම් රජෙක් විය. )
 
 
 
 
 
ඔබගේ යාලුවන්ටත් Share කරන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *