දෙවියන් මැරීම…

දෙවියන් මැරීම...

බුද්ධිය මිත්‍රයෙකැයි සිතූ මම
දිනක් මඟ රැක සිට
මගේ දෙවියන්
මරා හෙළීමි
දැවැන්තයකු වූ බුද්ධිය
අඳුරෙහි මහ අඩි තබමින්
මා පිටිපසින් එනු
මට ඇසෙයි

එහෙත් දෙවියන් සිටි කල මෙන්
දැන් මට
සැක හැර ගමන් කළ නොහැක
මා වැටුණු කල
දැන් දෙවියන් නැති හෙයින්
මම
නැඟී සිටිය යුතු ය

යළිත් දෙවියන් සොයා ගිය මට
උන් වහන්සේ ගේ රන්වන් මළ සිරුර
මඟ අසල
නුග ගස යට තිබී සම්බ විය

” ස්වාමීනි, යළිත් නැඟී සිට
මා හා පෙර මෙන්
එනු මැනව ” යි මම කීමි

උන් වහන්සේ
නැඟී නොසිටින්නේ
බුද්ධිය
තම දත් දෙපළ පෙන්නා
විළිස්සමින්
මා පිටිපස සිටින හෙයින් බව
මම දනිමි

එහෙත් මට බුද්ධිය ගසා පලවා හැරිය නොහැක
ඔහු මා අතහැර නොයයි

        නිසඳැස් කවියේ ප්‍රථම තරංගයට අයත් කවීන් අතුරෙන් වැදගත් තැනක් හිමිකරගන්නා කවියකු වන ජී.බී.සේනානායක මහතා විසින් රචිත ‘ පලිගැනීම ‘ කෙටිකතාව තුළ මෙම නිසඳැස් ආකෘතිය අන්තර්ගත කොට ඇත. නමුත් එතුමා විසින් මෙය ගද්‍යත් නොවන පද්‍යත් නොවන රචනා විශේෂයක් නැතහොත් නිදහස් කාව්‍ය ( free verse ) ලෙස හැඳින්වීම ද විශේෂත්වයකි. බැලූ බැල්මට ම ඇත්තා වූ සිව්පද ආකෘතියෙන් දුරස් වූ ආකෘතිය පද එකිනෙක කඩමින් පෙළට සකස් වූ මෙම නිසඳැස් ආකෘතිය සුවිශේෂී වේ.

        කොළඹ යුගයේ කවීන් බොහෝ විට ඕලාරික ලෙස , නැතහොත් බොලඳ ලෙස ප්‍රේමය , කාන්තාව වැනි මාතෘකාවන් තම නිර්මාණයට පාදක කර ගනියි. වින්දනයක් ලබා දුන්න ද ජීවිතය පිළිබඳව ගැඹුරු යථාර්ථයක් හෝ සමාජීය යථාර්ථයක් ඉන් ඉස්මතු නොවේ. තවත් ආකාරයකින් කිවහොත් එතරම් දෘෂ්ටිවාදාත්මක ස්වරූපයක් උසුලන නිර්මාණ නොවේ. නමුත් නිසඳැස් කාව්‍ය සම්ප්‍රදාය තුළ කවීන් අතින් මීට හාත්පසින් වෙනස් වූ ජීවන යථාර්ථයන් ඉස්මතු වන නිර්මාණ බිහි විය. ප්‍රඥාව අවදි කරවන ආනන්දයෙන් ප්‍රඥාව කරා අප ගෙන යන නිර්මාණ මේ අතර විය.

        ඒ අතුරින් ‘ දෙවියන් මැරීම ‘ කාව්‍ය නිර්මාණය තුළින් මිනිසා ගේ බුද්ධිමය ජීවිතය හා භාවමය ජීවිතය අතර ගැටුම මනා සේ පිළිබිඹු වන අතර කවියා ගේ අරමුණ මෙතුළින් ඉටු වන බව නොරහසකි.

        මනුෂ්‍ය චිත්ත සන්ථානයන්හි හට ගන්නා බුද්ධිමය හා භාවමය මනෝභාව අතර පවතින සදාතනික ගැටුම වස්තු විෂය කර ගනිමින් මෙම නිර්මාණය ගොඩනගා ඇතිබව කිවහොත් වැරදි නැත.

        කිසියම් සිතක් තුළ දෙවියන් යනු භක්තිවන්ත හැඟීමක් වන අතර දෙවියන් මැරීම තුළින් ම හදවතට දැනෙන්නා වූ භක්තිවන්ත හැඟීම් සමුදාය හා ගැටෙන බුද්ධිය ප්‍රතිනිර්මාණය කරයි. තර්ක ඥාණය තුළින් බුද්ධිය මුහුකුරා වැඩෙන අතර මිනිසා එක් අවධියක තම ප්‍රාකෘතික ජීවිතය නැතහොත් වනචාරී බවින් මිදී බුද්ධිය තම මිතුරෙකු ලෙස සිතා එය වර්ධනය කර ගනිමින් ශිෂ්ටවත් වූ සභ්‍යත්වයක් ඇති සමාජයක් බිහි කරයි.

“බුද්ධිය මිත්‍රයෙකැයි සිතූ මම
දිනක් මඟ රැක සිට
මගේ දෙවියන්
මරා හෙළීමි
දැවැන්තයකු වූ බුද්ධිය
අඳුරෙහි මහ අඩි තබමින්
මා පිටිපසින් එනු
මට ඇසෙයි “

        මෙතුළින් කවියා පැවසීමට උත්සාහ කරන්නේ මෙලෙස ශිෂ්ටාචාරවත් වන මානවයා තමා තුළ සිටින බුද්ධිය මිත්‍රයකු සේ සිතා හදවතට දැනෙන භක්තිවන්ත හැඟීම් මුලිනුපුටා දැමීමට වෙහෙස වන බවයි. එහි දී භක්තිය අභිබවා බුද්ධිය ඉස්මතු වුව ද මනුෂ්‍ය චිත්ත සන්ථානයන්හි හට ගන්නා වූ භක්තිමත් හඟීම් එසේ මුලිනුපුටා දැමිය නොහැකි බව ද කවියා මෙහි දී අවධාරණය කරයි. බුද්ධිය තුළින් දිවිය සාරවත් වන බව දකින අතර දැවැන්ත බුද්ධිය තමාට මනා පිටුබලයක් වන බව කවියා පවසයි. වර්තමාන දිවිය තුළ ද හැඟීම්වලට වඩා අප ඉඩ හසර ලබා දෙන්නේ බුද්ධියට යි. නමුත් අපට එය කළ හැකි ද යන්න පිළිබඳව දෙවරක් සිතිය යුතු ම ය.

” එහෙත් දෙවියන් සිටි කල මෙන්
දැන් මට
සැක හැර ගමන් කළ නොහැක
මා වැටුණු කල
දැන් දෙවියන් නැති හෙයින්
මම
නැඟී සිටිය යුතු ය “

        භාවමය හැඟීම් අප පුබුදු කරවන අතර හැඟීම් හෝ උද්වේගය ඇති වන්නේ හදවතට ය. ඒ තුළින් අප වැටුනු කළ අපව නැගිටුවන්නේ එම උද්වේගකර හැඟීමයි. නමුත් දැන් දෙවියන් නැත. කථකයා නැවත දෙවියන් සොයා යයි. මිනිසා දියුණුවත් සමඟ මෙම භාවමය හැඟීම් යටපත් කළ ද අප වැටුණු කළ නැවත දළු ලා වැඩෙන්නේ බුද්ධියට පෙර භාවමය වූ හැඟීම නොවේ ද ?

” යළිත් දෙවියන් සොයා ගිය මට
උන් වහන්සේ ගේ රන්වන් මළ සිරුර
මඟ අසල
නුග ගස යට තිබී සම්බ විය “

        මේ දේවාලය නොවේ ද? දෙවියන් වැඩ විසූ තැන් වෙත නැවත ගිය ද කවියාට හමු වන්නේ උන් වහන්සේ ගේ රන් වන් පැහැයෙන් යුත් අප්‍රාණික දේහය යි. මන්ද යත් බුද්ධිය මිත්‍රයකු ලෙස සිතා තම දෙවියන් මරා හෙළූ පසු නැවත භක්තිවන්ත හැඟීම්වලට උන්වහන්සේ පිළිතුරු සොයා දෙන්නේ නැත. ‘ රන්වන් සිරුර ‘ ය්න්නෙහි ‘ රන්වන් ‘ යන විශේෂණ පදය තුළින් ම මෙම හැඟීම් පිළිබඳව චිත්ත අන්හ්‍යන්තරයේ හට ගන්නා වූ අසීමිත භක්තිය කැටි කොට අපූර්ව ලෙස වර්ණනයට නගා ඇත. මෙලෙස අප්‍රාණිකව වැතිර සිටින සිරුරට ඔහු ආමන්ත්‍රණ‍ය කරයි. නමුත් සත්‍යය නම් පිළිතුරක් කිසිදිනෙක නොලැබෙන බවයි.

” ‘ස්වාමීනි, යළිත් නැඟී සිට
මා හා පෙර මෙන්
එනු මැනව ‘යි මම කීමි. “

        බොහෝ සංකල්පරූප යොදා නොගත්ත ද ඉතා උචිත වූ ධ්වනිථාර්ථවත් බස් වහරක් සේනානායකයන් මේ සඳහා භාවිතා කළ බව පැහැදිළි ය.

“උන් වහන්සේ
නැඟී නොසිටින්නේ
බුද්ධිය
තම දත් දෙපළ පෙන්නා
විළිස්සමින්
මා පිටිපස සිටින හෙයින් බව
මම දනිමි”

        දෙවියන්ට ආමන්ත්‍රණ‍ය කළ ද යළිත් එම හැඟීම් සිත තුළ නොවැඩෙයි. මන්ද යත් බුද්ධිය තමා පසුපස සිටිනා නිසාවෙනි. මිනිසා සතු බුද්ධිය හා හදවත අතර පවත්නා සදාතනික වූ අනවරත ගැටුම, කවියා ඉස්මතු කර දක්වයි. දෙවියන් සිටී ද? නැති ද? හදවතට මෙම හැඟීම් දැනුන ද බුද්ධිය සතු වන්නේ තර්ක ඥාණය යි. එවන් කෙනෙකු ඇසට නොපෙනෙන බලවේගයක් සිතට දැනුන ද, දැවැන්තයකු වූ බුද්ධිය තුළින් එය මුලාවක් බවට තර්ක කරයි. ප්‍රත්‍යක්ෂ ලෝකයේ ප්‍රත්‍යක්ෂ නොවන කරුණු කාරණා බුද්ධිය තුළින් මරා දමන අතර මෙම භාවමය කල්පිත ද බුද්ධිය හමුවේ අප්‍රාණික වන බව කවියා අපූර්ව ලෙස හොවා දක්වයි.

” එහෙත් මට බුද්ධිය ගසා පලවා හැරිය නොහැක
ඔහු මා අතහැර නොයයි “

        ශිෂ්ටාචාරයේ මෙසේ පැමිණි ගමන් මග තුළ බුද්ධිය කිසිදා අප හැර දා නොයන බවත්, සෑම දා අප හා සිටින්නේ බුද්ධිය බවත් ඔහු පවසයි. නමුත් විටින් විට අපට දෙවියන් සිහි වෙයි. හදවත සහ බුද්ධිය අතර පවත්නා මෙම සනාතන ධර්මතාවය බුද්ධිවිෂයික ලෙස ඉදිරිපත් කිරීමට ‘ දෙවියන් මැරීම ‘ නිර්මාණය තුළින් ජී.බී.සේනානායකයන් ගත් උත්සාහය ඉතා සාර්ථක බව කිව යුතු ය.

        නිර් චන්දස් නැතහොත්  නිශ්චිත විරිතකින් තොර වූ නිසඳැස් කාව්‍ය ආකෘතිය තුළින් කවියා ගේ අරමුණ තව තවත් සාර්ථකත්වයට පත් වී ඇති බවත් ගැඹුරු ජීවන යථාර්ථයක් පිළිබිඹු කිරීමට මෙතුළින් කවියා දරන මහන්සිය ඉතා අගනේ ය. සියලු කරුණු කාරණා දෙස බලන විට ‘ දෙවියන් මැරීම ‘ යනු මෙරට අග්‍රගණ්‍ය නිර්මාණ අතුරෙන් එකක් බව පැවසීමෙහි වරදක් නැත.

 
ඔබගේ යාලුවන්ටත් Share කරන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *